අකුරු කිහිපයකින් ගොඩක් දේ කියන හයිකු කවි.




වසන්තය වියැකී ගොසිනි
විලෝ පත් බිම වැතිරගෙන 
ගිරිකුළු තැන් තැන්වල 

 වසත්කල වර්ෂාව 
 කතන්දර කියමින් 
පිදුරු කබායක් සහ කුඩයක් 
ඇවිදියි කලබලෙන්

 - යෝසා බුසෝන් 

 හයිකු (Haiku/ 俳句) කවි ගැන ඔබ අසා ඇති. හයිකු කවි යනු ඉතා අපූරු කෙටි කවි කලාවකි. නමුත් ඕනෑම කෙටියෙන් ලියූ කවියක් හයිකු කාව්‍යයක් ලෙස හැඳින්විය නොහැක. මෙයට හේතුව ලෙස හයිකු කාව්‍යයන්ට ම අනන්‍ය වූ ලක්ෂණ සමූහයක් තිබීම දැක්විය හැකි ය. හයිකු කවි කලාව යනු රසවිඳිය යුතු ම, අධ්‍යයනය කළ යුතු ම සාහිත්‍ය ශානරයකි.

 අනේ පුංචි ගොලුබෙල්ලෝ 
නගින්න ෆුජි කන්ද
 බලාගෙන 
 හිමින් හිමින්

 තණකොළපෙත්තෝ
 පාගන්නෙ බලාගෙන 
බිඳෙයි කැබලිවලට
 දිලිසෙන පිණිමුතු 
 කෘමියනි නොවැළපෙන්න
 පෙම්වතුන් ද තාරකා ද 
වෙන්විය යුතු ය දවසක

 - ඉසා
 (කොබයාෂි නොබුයුකි නොහොත් කොබයාෂි යටාරෝ) 

 හයිකු කවියේ ආරම්භය පුරාණ චීනයේ ආගම හා සම්බන්ධ බව සඳහන් වේ. බුද්ධාගම, තාඕ ධර්මය ආදිය පැවති අවධියේ දී ඔවුන් අන් අය වෙත ළඟා වීමට සහ සිතුවිලි හෙළිදරව් කිරීමේ ක්‍රමයක් ලෙස ඉතා ජනප්‍රිය විය. 17වන සියවසේ සිට හයිකු ජනප්‍රිය වූයේ ජපන් සෙන් ආගමේ (Zen) ප්‍රකාශන ස්වරූපයක් ලෙස ය. පසුකාලීන ව වෙනත් තේමාවන් ගැන සඳහන් කරමින් ද හයිකු බිහිකර ඇති අතර වැඩි අක්ෂර සහිත පදවලින් සෑදී ඇත. 

 සම්භාව්‍ය හයිකුවක් පද තුනකින් සමන්විත වේ. අක්ෂර 5ක් පළමු පදයෙහි ද, අක්ෂර 7ක් දෙවැනි පදයෙහි ද, අක්ෂර 5ක් තෙවැනි පදයෙහි ද වශයෙන් මුළු අක්ෂර ගණන 17කින් හයිකු කවියක් සමන්විත වේ. (5/7/5 ආකෘතිය)

 රත් පැහැති
 දෙකම්මුල් මත 
පිපි හාද්ද 
 රිදෙද්දිත් 
 නොහැඬුව මට 
දුක කොහිද

 - වරූ

 මුකුලිත වූ
 නමුදු රොන්සුණු 
 පණ ගැහෙන

 - මනෝරි ලියනවඩුගේ 

 නමුත් අප සිංහලෙන් හයිකු ලිවීමේ දී 5/7/5 යන ආකෘතියට අනුව ලිවීම උගහට වීම හෝ කළ නොහැකි වීමට හේතු වනුයේ ජපන් අක්ෂරවල සිංහල අක්ෂරවල මෙන් ස්වර බෙදීම් නොමැති බැවිනි.
 හයිකු කවිය ගැඹුරු විදර්ශනාවක භාවමය ප්‍රකාශනයකි. හයිකුවල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මනුෂ්‍ය සන්තානගත ධාරණාවක් ස්වභාවධර්මයේ සංසිද්ධියක් හා බද්ධකොට ඉදිරිපත් කිරීම යි. චිත්තාවේග නිරූපණය කිරීමට ඍතුන් උපයෝගී කරගැනේ. තෝරාගත් සීමිත වචන ප්‍රමාණයකින් සියුම් හැඟීම් රසිකයන් තුළ ජනිත කිරීම හයිකුවේ පරමාර්ථය යි. 

 සිසිරයේ හුදෙකලාව
 තනි පැහැ ලොවක
 සුළඟෙහි හඬ
 - වරූ 

 සටහන: 
විනුක වලවගේ
 18 වසර කණ්ඩායම
 දන්ත වෛද්‍ය විද්‍යා පීඨය 
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය 

 මූලාශ්‍ර:
 https://www.facebook.com/Waru1985kawikaari/posts/1241505849234309/ https://www.facebook.com/mahinda4haiku https://lankaweb.lk/archives/8642 https://www.actualidadliteratura.com/si/15-haikus-comenzar-la-semana/ http://www.boondi.lk/index.php?ARTCAT=HIKU

Comments

  1. ස්තුතියි දන්ත වෛද්‍ය පීඨ කලා කවයට😊💜
    #විනුක_වලවගේ
    2021.06.20

    ReplyDelete

Post a Comment