ළමා ලෝකයේ මන පිනවූ සිත්තරාවිය - කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය
1927 වසරේ
ඔක්තෝම්බර් 31 දින ගාල්ල දිස්ත්‍රික්කයේ, ගිංතොට ගම් ප්‍රදේශයේ උපත ලැබූ සිබිල් ද
සිල්වා දියණිය කුඩා කාලයේදී සැමගේම ආදරයට පාත්‍රවූයේ "කළු දූ" නම්
සුරතල් නාමයෙනි. කුඩා කල සිටම පියාගේ අත්වැල අනුව යමින් කලාව සඳහා බොහෝ ආශා කළ ඇයට
වයස අවුරුදු හයේදී පමණ තම පවුලේ අයත් සමඟ පදිංචිය සඳහා කොළඹ ප්‍රදේශයට යන්නට
සිදුවිය. එහිදී ඇය අධ්‍යාපන කටයුතු සඳහා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළු වූවාය.
කලා ක්ෂේත්රයට
දැක්වූ කැමැත්ත හේතුවෙන්ම වයස අවුරුදු දාහතේදී ලංකාදීප පුවත්පතට සම්බන්ධ වූ ඇය
1952 වර්ෂයේදී ලේක්හවුස් ප්‍රකාශකයන් හා බැඳී, එහි ජනතා පුවත්පතේ ප්‍රධාන චිත්‍රකාරක
ධූරයට පත්වූවාය. එමෙන්ම සිළුමිණ , Dailynews , Sunday
observer ආදී පුවත්පත් සඳහාද ඇය විසින් ලිපි
ඉදිරිපත් කරනලදි. 1952 වර්ෂයේදීම ලංකාදීප පුවත්පතේ "ළපටි පෙළ" පිටුව තම
සිතුවමින් හැඩගැන්වීම එතුමිය අතින් සිදුවූ තවත් ඉමහත් සේවාවකි. 1955 වර්ෂයේදී
ලේක්හවුස් පුවත්පත්වල ප්‍රධාන කතෲ ධූරය හෙබවූ දොන් ධර්මපාල වෙත්තසිංහ මහතා සමඟ
විවාහ වීමෙන් පසු ඇය සිබිල් වෙත්තසිංහ ලෙස ජනප්‍රියත්වයට පත්වූවාය.
1952 වසරේදී ජනතා පුවත්පතේ සේවය කරන කාලයේදීම ළමා කතාන්දර ලිවීම සඳහා ගත් පළමු උත්සාහය ලෙස එම පුවත්පතේ ළමා පිටුව සඳහා "කුඩ හොරා" කතාව ලිවීම ආරම්භ කළාය. ක්‍රමයෙන් පොතක් බවට පත්වූ එම ළමා කතාව ශ්‍රී ලංකාවේ පමණක් නොව අන්තර්ජාතික මට්ටමෙන්ද විවිධ සම්මානවලට පාත්රවී ඇත. "කුඩ හොරා" කතාන්දර පොත සාර්ථක වීමත් සමඟ ළමා පරපුර සඳහා තව තවත් ළමා කතාන්දර ලිවීමට මෙන්ම තමන්ටම ආවේණික වූ වර්ණ, රේඛා, හැඩතල ආශ්රයෙන් ළමා මනසට ගැළපෙන ආකාරයට චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කිරීමට සිබිල් වෙත්තසිංහයන් නැඹුරු වූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ළමා කතාන්දර පොත් දෙසීයකට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කිරීමට ඇයට හැකියාව ලැබුණි. එමෙන්ම ඇය විසින් රචිත පොත් බොහොමයක් ජපන්, චීන, ඉංග්‍රීසි, දෙමළ, කොරියන්, ස්වීඩන් වැනි භාෂා වලට පරිවර්තනය කර ඇති අතර එම පොත් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වී තිබේ.
කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් කුඩා දරුවන් සඳහා ලියූ කතාන්දර පොත් ළමා මනසට තේරුම්ගත හැකි කතා විලාශයකින් මෙන්ම, එක්වරක් කියවූ පමණින් නැවත නැවත කියවීමට කැමැත්තක් ඇතිවන ආකාරයට ඉදිරිපත් කර ඇති සිතුවම් වලින්ද සමන්විතයි. කුඩ හොරා, සූත්තර පුංචා, දුවන රැවුල, වෙසක් පහන, හොයිටි නම් හිවලා, පොඩ්ඩි සහ පොඩ්ඩා, උඩ ගිය බබා, මැටි ගෙදර ළමයි, සුදු සිනිඳු තුවාය, මඟුල් ගෙදර බත් නැතෝ ආදිය එතුමිය විසින් රචිත ළමා කතාන්දර පොත්වලින් කිහිපයක් පමණි.
කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මියගේ රචිත කතාන්දර පොත් සහ සිතුවම් සඳහා දෙස් විදෙස් සම්මාන අති විශාල ප්‍රමාණයක් එතුමියට හිමි වී ඇත. බොහෝ ජනප්‍රියත්වයට පත්වූ "කුඩ හොරා" නම් ළමා කතාන්දර පොත 1986 වසරේදී හොඳම ළමා සිතුවම් සහිත පුස්තකය ලෙස සම්මානයට බඳුන් විය. එය ඇයගේ පළමු ළමා කතාන්දර පොත වූ අතර එම පොත දැනට භාෂා හතකට පරිවර්තනය කර තිබේ. 1986 වසරේදී හොඳම විදේශීය පොත් සඳහා ජපානයේ පිරිනමන සම්මානයත්, 1987 වසරේදී වඩාත්ම ජනප්‍රිය ළමා කතාන්දර පොත ලෙසත් "කුඩ හොරා" පොත සම්මාන ලබාගෙන ඇත.
තවද "විශ්ව ප්‍රසාදිනී", "රෝහණ ප්‍රදීප", "ගාලු පහන්සිළු" වැනි සම්මාන රැසකට පාත්‍ර වූ ඇය 2005 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් පිරිනැමූ "කලා කීර්ති" සම්මානයත්, 2007 වසරේදී සෝලිස් මෙන්ඩිස් සම්මානයත් හිමිකරගැනීමට තරම් දක්ෂතාවයක් දැක්වූවාය.
අන්තර්ජාතික චිත්‍ර තරඟවල ජූරිසභා ගණනාවකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ ඇය ලොව හොඳම චිත්රශිල්පීන් පනස්දෙනා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා මාතාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමිනි. ළමා පරපුරට තෙළි තුඩින් පණ පොවමින්, දශක හයකටත් වඩා වැඩි කාලයක් කලා ක්ෂේත්රයේ ප්රගමනය සඳහා ඉමහත් සේවයක් ඉටුකළ කලාකීර්ති සිබිල් වෙත්තසිංහයන් 2020 ජූලි මස පළමුවන දින (අද දින) මෙලොව හැරයන්නේ ළමා මෙන්ම වැඩිහිටි කාගේත් සිත් දොම්නසින් පුරවමිනි.
~~රංජනා ප්‍රියශානි~~
Comments
Post a Comment