ජීවිත ගමනේ සොඳුරු නවාතැනක නව අරමුණක් වෙනුවෙන් බලා සිටින්නෙමි🎓

ජීවිත දින පොතේ පරිච්ඡේද එකින් එක කියවා හමාර කරමින් සිටී. ගෙවී ගිය පරිච්ඡේදවලදී දුක, සතුට, ලැබීම , නොලැබීම , කීර්තිය මෙන්ම අපකීර්තිය ලෙස අටලෝ දහම හමුවේ නෙතින් ගැලූ සතුටු කඳුළු මෙන්ම දණින් වැටී තුවාල වූ අවස්ථාවන්ද අනන්තය. අප්‍රමාණය. 

එහි එක් විශේෂ පරිච්ඡේද කිහිපයක්ම වෙන්වී ඇත්තේ මගේ දිවි ගමනේ අනාගතය කෙබඳු දැයි තීරණය කළ සරසවි සමයටයි.තවමත් එම පරිච්ඡේද ලියවෙමින් තිබේ. එම ලියවෙමින් තිබෙන පරිච්ඡේද සම්පූර්ණ කරමින් සිටින මා තෙවන වසර අධ්‍යාපනික කටයුතු සිදු කරන දන්ත වෛද්‍ය සිසුවියකි. 

උසස් පෙළ අවසන් වීමෙන් පසුව නිවසට වී සිටින එක් සවස් යාමයක, මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වෙත තෝරාගෙන ඇති බව දන්වමින් ලැබුණු ලිපිය කියවා පවුලේ සියලු දෙනාම සතුටු වූවා මට අද මෙන් මතකය. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ මගේ අරමුණ වූයේ කෙසේ හෝ වෛද්‍ය පීඨය වෙත සමත් ව වැඩිදුර අධ්‍යයන කටයුතු කරගෙන යාමයි. ඒ අතරතුරදී මෝස්තර නිරූපණ ශිල්පය හැදෑරීම හා එහි නිරත වීමටද මගේ යටි සිතේ උපන් බලවත් ආසාවක් තිබුණි. නමුදු මගේ ප්‍රථම උත්සාහය මට මග සලසා දුන්නේ දන්ත වෛද්‍ය පාඨමාලාව හැදෑරීමටයි. 

වෛද්‍ය පීඨය වෙත තේරීමට නොහැකි වීම පිළිබඳව සියුම් දුකක් හා බලාපොරොත්තු කඩවීමක්ද මා සිත වෙලා ගත් අතර, මා නැවත වරක් ඒ වෙනුවෙන් උත්සාහ කිරීම පසෙක තබා දන්ත වෛද්‍ය විද්‍යා පාඨමාලාව තෝරා ගැනීම දෛවයේ සරදමක් ලෙස මට පෙර කිහිප වතාවක්ම සිතී ඇත. නොලැබුණු නමුත් උත්සාහ කළේ නම් ලබාගත හැකිව තිබූ දෙයක් අතහැර, ලැබුණු දෙයින් සෑහීමකට පත්වීමය මා එදා සිදු කළේ. 

දොස්තර කෙනෙකුට තරම් සමාජ පිළිගැනීමක් හා ගෞරවයක් දත් දොස්තර කෙනෙකුට නැති බවද මට එවකට නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙකුම පැවසූ අයුරු අදටත් මතකය. සැබැවින්ම වෛද්‍යවරයකු වීමට ආසාවෙන් සිටි මම එම වදන් හිස් මුදුනින්ම පිළිගත්තෙමි. නැවත වතාවක් උත්සාහ කරන මෙන් බොහෝ දෙනෙක් පවසමින් අවවාද කළද, ආපසු පෙර මෙන් මහන්සි වී වැඩ කළ නොහැකි ලෙස මා කයින් මෙන්ම මානසිකවද වෙහෙසට පත් වී සිටින්නට විය. එහෙයින් කුඩා කල පටන් සිතේ දලු ලා වැඩුණු වෛද්‍යවරයකු වීමේ සිහිනයට තිත තබමින් මම දන්ත වෛද්‍ය සිසුවියක වීමට අවසනදී තීරණය කළෙමි. 


ශ්‍රී ලංකාවේ එකම දන්ත වෛද්‍ය විද්‍යා පීඨය පිහිටා ඇත්තේ සුන්දර මෙන්ම මනරම් පරිසරයකින් හෙබි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වීමද, දන්ත වෛද්‍ය පාඨමාලාව තෝරා ගැනීමට මා සිත පෙළඹවූ එක් සාධාරණ හේතුවක් විය. හිරිගඩු පිපෙන ගත දැවටෙන සීතල සුළං රැලිත්, සරසවි භූමිය රැකගනිමින් එය වට කරමින් ගලා යන මහවැලි නදියත්, මීදුම් වලාපටල වලින් වැසීයන හන්තාන කඳු වැටියත් පේරාදෙණියටම විශේෂිත වූ සොබාදම් මාතාවගේ විශ්මිත දායාදයන්ය. කුඩාකල පටන් ඉතාම සුන්දර ලෙස දැක හා අසා තිබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත යාමටත් මා ඉතා ආසාවෙන් සිටිය අතර, අවසානයේදී දන්ත වෛද්‍ය පාඨමාලාව තෝරා ගැනීමෙන් එම මහඟු භාග්‍යයද මට හිමි විය. 

මා දන්ත වෛද්‍ය විද්‍යා පීඨයට පැමිණි දින සිට දැනට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇත. කිව යුත්තේ මා දැන් සිටින්නේ පෙර ලෙස හණමිටි අදහස් දරන්නන්ගේ පාර්ශවයේ නොවන බවයි. තවදුරටත් දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය හුදෙක් මගේ උපාධි පාඨමාලාව පමණක් නොවේ. එය මගේ ජීවිතය බවට පත් වී හමාරය. පුරා වසර තුනක් පුරාවටම මා එහි නව දිවියට හුරු වූ අතර, මගේ අදහස් සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වූයේ එහිදීය. 

මගේ සියුම් අනුවණකමට මා සිතා සිටියේ දන්ත වෛද්‍ය ශිෂ්‍යයෙක් යනු දත් ගැලවීම, සුදු හෝ කළු පාට පල්පයක් දමා දත් පිරවීම, දත් සුද්ධ කිරීම වැනි සුළු ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පමණක් ඉගෙන ගෙන ප්‍රතිකාර කරන අයෙකු බවය. වසර පහක කාලයක් පුරාවට ඉගෙන ගැනීමට ඇත්තේ ඒ දේවල් පමණක් බව මම සිතා සිටියෙමි. ඒ මා කුඩාකල අසා හා දැක තිබුණේ ඒවා පමණක් වන හෙයිනි. නමුත් එය එසේ නොවන බව වැටහී ගියේ, මා පීඨයට පැමිණ දින කිහිපයකට පසුවය.
කෘන්තක, රදනක, පුරශ්චාර්වක හා චාර්වක ලෙස දත් වර්ග හා ඒ පිළිබඳ සුළු කරුණු කිහිපයක් පමණක් පීඨයට ඇතුළු වනවිට දැන සිටි මම, දැන් ඊට වඩා ක්ෂේත්‍රය පිළිබඳව දනිමි. නමුත් එය උගෙන අවසන් කළ නොහැකි විෂය පථයක් බව නම් දනී. දිනෙන් දින ඒ හා ආශ්‍රිතව බැඳුණු රෝග, විවිධ ප්‍රතිකාර ක්‍රම සොයාගැනෙන අතර, ඉදිරියට යන විට තවදුරටත් එය පුළුල් වනු ඇත. එබැවින් අවුරුදු පහක් පුරාවටම දත් ගලවන්න ඉගෙන ගන්නවා යැයි පැවසීම හාස්‍යජනක කරුණකි. පදනමක් නොමැති මතයකි. 

මුළු මිනිස් සිරුරින්ම අධ්‍යයනය කිරීමට හා ප්‍රතිකාර කිරීමට අපහසුම කොටස වන්නේ මුඛය හා ඒ ආශ්‍රිත කොටස බව මගේ අදහසයි. එහි වැදගත්කම කෙතරම්ද යත්, දතක් ගැලවීමට නිර්වින්දන ඖෂධ ලබාදීමේදී ඉතා නිවැරදිව එය අදාල ස්නායු සැපයුම වෙත ලබා දිය යුතු අතර, නැතහොත් එය වෙනත් අතුරු ප්‍රතිඵල ඇති කරවයි. ඒ සඳහා ඉතා නිවැරදි අයුරින් මුහුණ හා ඒ ආශ්‍රිත කොටස් පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍ය අතර එසේ නොමැතිව දන්ත වෛද්‍ය ප්‍රතිකාර කිරීමට සිතීම පවා උගහටය. කෙසේ වුවද අපගේ මූලික අවධානය හා පදනම වන්නේ මුඛය හා ආශ්‍රිත කොටස් වුවද , ඊට අමතරව මුළු මිනිස් සිරුරම පාහේ දන්ත වෛද්‍ය සිසුන් විසින් අධ්‍යයනය කරනු ලබයි. බොහෝ දෙනෙකු සිතා සිටිනුයේ මිනිස් මළ සිරුරු (cadaver ) විච්ජේදනය කිරීම කරනුයේද වෛද්‍ය සිසුන් පමණක් බවයි. නමුත් දන්ත වෛද්‍ය පීඨ සිසුන්ද මුල් අධ්‍යයන වර්ෂය තුළදී කාය විච්ජේදනය පුහුණුවීම හා එහි නිරත වීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. සෑම දිනකම පාහේ උදෑසන පටන් සවස් වන තුරුම දේශන, ප්‍රායෝගික පුහුණුවීම් හා සායනික පුහුණුවීම් ලබන දන්ත වෛද්‍ය සිසුහු ඉතා කැපවීමෙන් හා සමබරතාවයෙන් යුතුව තම අධ්‍යාපනික කටයුතු මෙන්ම බාහිර කටයුතුද සිදු කරති.

කෙසේ කෙතරම් වැඩ රාජකාරි ප්‍රමාණයක් තිබුණද දන්ත වෛද්‍ය පීඨ සිසුවකුගේ ඒකායන හා මූලික අරමුණ වන්නේ යම් දිනක සාර්ථක හා පලපුරුදු රටට වැඩදායක හා රටේ පිළිගත් දන්ත වෛද්‍යවරයකු වීමයි. එමගින් රටට හා ජනතාවට සේවය කිරීම ඔවුන්ගේ උතුම් අරමුණයි. දන්ත වෛද්‍ය පාඨමාලාවට තේරීපත් වීමෙන් අනතුරුව මුලදී තිබූ අදහස් වෙනස් වීමෙන් පසුව දැන් මගේද ඒකායන අරමුණ වන්නේ එයමයි. මතු දිනක එම අරමුණ ළඟා වනතෙක් මම ඒ වෙනුවෙන් සිහින දැකීම හා ස්වෝත්සාහී ලෙස කැපවීමෙන් කටයුතු කිරීම අධිෂ්ඨානශීලී මනසින් යුතුව සිදු කරන්නෙමි.

Article by- ඩිල්ෂානි රවීෂා 
                  දන්ත වෛද්‍ය විද්‍යා පීඨය 
                  පේරාදෙණිය විශ්ව විද්‍යාලය

x

Comments

Popular Posts