වනජීවී ඡායාරූපකරණය
විවිධ වර්ගයේ වනජීවීන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරය තුළදී ම නිර්මාණාත්මක ව අධ්‍යනය කර එම රූපරාමු තිරයක් මතට ගෙන අපට ඒ තුළින් තෘප්තියක් ලබාගත හැකි විනෝදාංශයක් ලෙස "වනජීවී ඡායාරූපකරණය" මම දකිමි.
වනජීවී ඡායාරූපකරණය යන වචනය ඇසූ පමණින් හුදෙක් එය වනාන්තරයක වෙසෙන ජීවීන් ඡායාරූපකරණය යන්න අදහස් වුව ද එය ඊට වඩා එහා ගිය වෙනස් වූ කලාවකි. බොහෝ අය වනජීවී ඡායාරූපකරණය යන්නෙන් මවා ගන්නේ වනාන්තරයක වෙසෙන අලි, කොටි, වලසුන්ගේ ඡායාරූප ලබා ගැනීම වුවත් එය එසේ නොවේ. තම ගෙවත්තට පැමිණෙන විවිධ වර්ණයෙන් යුතු සමනලුන්, කුරුල්ලන්, කුඩා කුරුමිණියන් මෙන් ම සොබදහමේ සංසිද්ධීන් වන දේදුන්නක්, ඉර බැසගෙන යන දර්ශනයක්, ගසක කොළයක් මත ඇති වැහි බිංදුවක් පවා කලාත්මක ඇසකින් බලා ඡායාරූපගත කිරීම මෙම වනජීවී ඡායාරූපකරණය යන වචනය තුළ ගැබ් වී තිබේ.
තමා සතුන් සහ සත්ත්ව ගහනයන් සමඟ ගතකරන කාලය අනුව ඔවුන්ගේ චර්යා රටා, අවශ්‍යතා පිළිබඳ හොඳ දැනුමක් ලබාගත හැකි යි. උදාහරණ ලෙස විවිධ සතුන්ගේ විවිධ වූ පෞරුෂත්ව මට්ටම්, ඔවුන් දවසේ නිශ්චිත වේලාවල්වල දී හැසිරෙන ආකාරය ඒ අතර වේ. වැඩි කාලයක් සොබාදහම සහ වනජීවීන් සමඟ ගතකිරීමෙන් උකහා ගන්නා දැනුමත් සමඟ, ඔබ ලබාගන්නා රූපරාමුව පරිසරය සමඟ වඩාත් සමීප සහ පරිසරය පිළිබඳ මනා හෙළිදරව් කිරීමක් ලෙස මම දකිමි.
එමෙන් ම මෙහි දී ඡායාරූප ගැනීමේ පලපුරුදු කුසලතාවයක් ඡායාරූප ශිල්පියා සතුවිය යුතු අතර සමහර සතුන්ගේ චර්යා රටා පිළිබඳ පූර්ව දැනුමක් ද අත්‍යවශ්‍ය වේ. මන්දයත් සමහර සතුන් වෙත ළඟාවීම අපහසු වන බැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ යම් තරමක් දුරකට පුරෝකථනය කිරීමේ හැකියාව ඔහු සතුව තිබිය යුතු යි.
වනජීවීන් ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කරන අතර ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ආකාරයට ඡායාරූපයට පෙනී නොසිටි යි. එබැවින් ඡායාරූප ශිල්පියා ඒ සඳහා අවස්ථාව ලැබෙන තෙක් ඉවසීමෙන් බලා සිටිය යුතු අතර ඒ සඳහා ඇතැම් විට දින ගණන්, සති ගණන් පවා වැය කිරීමට සිදු වේ. වෙනත් ඡායාරූප සමඟ සංසන්දනය කරන විට වනජීවී ඡායාරූපකරණය වෙනස් වන්නේ ඒ ආකාරයට යි. එනම් ඡායාරූප ශිල්පියා තමා ඡායාරූප ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්රය පිළිබඳ මනා අවධානයකින් සිටිය යුතු අතර දවසේ වැඩි කාලයක් එම ක්ෂේත්රය තුළ ගත කිරීමට වගබලා ගත යුතු යි. එමගින් ඉතා හොඳ ඡායාරූප ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, එය කාලය නිකරුණේ නාස්ති කිරීමක් නොවේ.
අප ඡායාරූපකරණයේ දී තෝරා ගන්නා රාමූන් ඡායාරූපගත කරන වස්තුවේ හැඩය, ප්‍රමාණය මත ද වෙනස් වේ. උදාහරණයක් ලෙස ඈත ඉසව්වක් දෙස නෙතු යොමා සිටින පක්ෂියෙක් නම් එම පක්ෂියා බලා සිටින ප්‍රදේශයට වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන පරිදි අප රාමුව තීරණය කළ යුතු යි. තව ද වස්තුව රාමුව තුළ එක්වර ම දිස් නොවන ඡායාරූපවල ද අපූර්වත්වයක් ඇත. නිදසුනක් ලෙස වේශාන්තරණය දක්වන සතුන්ගේ ඡායාරූප පෙන්වාදිය හැකි යි. එනම් කොළ පැහැති පාසි අතර සැඟව සිටින ඒ හා සමාන පැහැයකින් යුතු ගෙම්බෙක්ගේ ඡායාරූපයක්, කළුවර ස්ථානයක වාඩි වී සිටින කුරුල්ලෙකුගේ ඡායාරූපයක් දැක්විය හැකි යි. වෙනත් ඡායාරූප සමඟ සැසඳීමේ දී එවැනි ඡායාරූපවල ගුණාත්මකභාවය ඉහළ වේ.
තව ද ඡායාරූප ගැනීමේ දී ඡායාරූපගත වන වස්තුව රාමුවේ සමමිතික වන ආකාරයට එනම් වස්තුවේ සමමිතික අක්ෂය රාමුවේ හරි මැදින් පිහිටන ආකාරයට ඡායාරූපගත කිරීම සිදුකරන අවස්ථා ද තිබේ. එනම් තටු දිගහැර මලක වසා සිටින සමනලයෙකු ගත්විට එම සමනලයාගේ හිස, බඳ රාමුවේ හරි මැදට ආසන්නව සිටින ලෙස ඡායාරූපගත කිරීම පෙන්වාදිය හැකි යි.
මෙම ඡායාරූප ශිල්පය වනාන්තරයක, ගම්බද පරිසරයක පමණක් නොව නගරබද පරිසරයක වුව ද විනෝදාංශයක් ලෙස දැක්විය හැකි යි. එය urban wildlife photography ලෙස හැඳින්වේ. නගරයක සාදා ඇති වැවක සිටින දියකාවන්, පැස්තුඩුවාවන් ඉගිලෙන අවස්ථාවක් පසුබිමෙහි වන ගොඩනැගිලි සමඟ ඡායාරූපගත කිරීම මනා නිදසුන කි. එමගින් නගරබද පරිසරයක ජීවත් වන පුද්ගලයෙකුට පවා ස්වාභාවික පරිසරය සමඟ සබඳතාවයක් ගොඩනැගෙන අතර ස්වභාවික සතුන් අප සමඟ ම මේ මිහිපිට ජීවත් වන බව පසක් වේ. එක් අතකින් බැලූකල එය නගරබද ජීවත් වන කාර්යබහුල පුද්ගලයෙකුට මානසික විවේකයක් ලබාදෙන්නක් ලෙස ද දැක්විය හැකි යි.
සාමාන්‍ය ඡායාරූපකරණයෙන් ඔබ්බට ගියවිට, යම් සත්ත්වයෙකුගේ හැසිරීම් රටාවේ සිදුවන ක්ෂණික වෙනස්වීම් කැමරා කාචයට හසුකර ගැනීම තරමක් අපහසු ය. එහි දී කැමරා කාචයට හසුවන වස්තුව යම්කිසි ක්‍රියාවක හෝ එසේත් නැතිනම් චලිතයක යෙදෙන අතර ඡායාරූප ශිල්පියා එම අවස්ථාවන් ක්ෂණික ව ඡායාරූපගත කරයි. උදාහරණ ලෙස ගෙවත්තක පොකුණකට පැමිණි කුරුල්ලෙකු තටු ගසන අතර ඉන් වතුර විසිවන ආකාරය, වැවක් අසල අලියෙකු හොඬින් වතුර ගෙන ගසන ආකාරය, පක්ෂියෙකු පියාඹා යන අවස්ථාවක් ක්ෂණික ව ඡායාරූපගත කිරීම දැක්විය හැකි ය.
බොහෝ දෙනෙක් මෙම වනජීවී ඡායාරූපකරණය ඉතා අධික මිලකින් යුත් ආම්පන්න උපයෝගී කරගත යුතු විනෝදාංශයක් ලෙස දකිති. නුමුදු එය එසේ නොවේ. වර්තමානයේ භාවිතා වන සංකීර්ණ කැමාරා කාච සහිත ජංගම දුරකථන වලින් පවා මෙම කලාව ප්‍රගුණ කළ හැකි වේ.
මෙම වනජීවී ඡායාරූපකරණය ගත්කළ එය අවස්ථානුකූල ව විවිධ වූ ආලෝක තත්ත්වයන් වෙනස් කරමින්, විවිධ වූ වර්ණයන් වෙනස් කරමින්, විවිධ වූ තාක්ෂණික ක්‍රම යොදාගනිමින් සංකල්ප රාශියක එකතුවක් ලෙස ඉදිරිපත් කිරීමක් ලෙස දැක්විය හැකි යි.
මෙලෙස ඉතා පුළුල් පරාසයක විහිදෙන වනජීවී ඡායාරූපකරණය විනෝදාංශයක් ලෙස ඕනෑ ම අයෙකුට කළහැකි අතර එය මානසික තෘප්තියක් ලබා ගැනීමට ද මනා පිටුවහලක් වනු ඇත යන්න මගේ අදහස යි.
සටහන සහ ඡායාරූප: පුතුල පලිපාන | 16 වසර කණ්ඩායම
සංස්කරණය : රංජනා ප්‍රියශානි
Very nice article 👌👌👌👏👏👏😍😍😍
ReplyDeleteWas highly informative. We have seen wild photos but haven't heard about how it's done.
ReplyDelete